පානීය ජල බෝතල්

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය
ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය 
රිජ්වේ ආර්යා ළමා රෝහල කොළඹ







ජලය අප සිරුරට වැදගත්වන්නාසේම ඒ සඳහා භාවිතා කරන බෝතලයත් වැදගත් බව ඔබ දැන සිටියාද?

මිනිස් සිරුරයි...... වතුරයි.......

මිනිස් සිරුර යථා පරිදි පවත්වා ගැනීමට අවශ්‍ය මුලික සාධකය වතුර බව ඔබ හොඳින්ම දන්නා කරුණකි. නිසි පරිදි ප‍්‍රමාණවත් ලෙස පිරිසිදු ජලය පානය කිරීම මඟින් මිනිස් සිරුරේ ඇති වන බොහෝ ව්‍යාධීන්ගෙන් මිදීමට පහසුවෙන් හැකියාව ලැබේ. ලෙඩ වු පසු බෙහෙත් ගන්නවාට වඩා ලෙඩ වීමට පෙර එය වළක්වා ගත යුතු බව අප කවුරුත් දන්නා නමුත් එය ක‍්‍රියාත්මක නොකරන වටිනා උපදෙසකි. වර්තමානයේදි වැලඳෙන බොහෝ රෝගාබාධ වලින් වැලකීමට පහසු මඟක් ලෙස වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ නිසි පරිදි, නිසි වේලාවට පිරිසිදු ජලය ලබා ගැනීමයි. අපගේ මෙම ලිපි පෙල ලියවෙනුයේ ඒ සඳහා නිසි මඟ පෙන්වීමක් ලබා දීම සඳහාමය. මෙවර ලිපියෙන් අපි පැහැදිලි කරනුයේ, වතුර මිනිස් සිරුරට වැදගත් වන තරමටම, එම වතුර ගබඩා කිරීමට යොදා ගන්නා පානීය ජල බෝතල් වල වැදගත්කම පිළිබඳවයි.    

නිසි පරිදි නිසි වේලාවට පිරිසුදු ජලය ලබා ගැනිම අභියෝගයක්? එසේ නම් එම අභියෝගය ජය ගනිමු

“අපි හැම තිස්සේම ගෙදර නැහැනේ” මෙවැනි කියමන් නිසි පරිදි නිසි වේලාවට පිරිසිදු ජලය පානය නොකිරීමට සාධාරණ හේතුවක් නොවේ. නිතර නිවසින් පිටත රැඳි සිටින අපිට නිසි පරිදි නිසි වේලාවට පිරිසිදු ජලය ලබා ගැනිමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇත්තෙන්ම එය අභියෝගයකි. නමුත් අප නිවසින් පිටව යන  ඕනෑම මොහොතක ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා පානීය ජල බෝතලයක් රැගෙන යාම මඟින් එම අභියෝගය පහසුවෙන් විසඳා ගත හැකි වේ. එහිදි ජලය රැගෙන යාම සඳහා නිවැරදි පානීය ජල බෝතලයක් තෝරා ගැනිමද ගැටලුවක්ව ඇත. මෙම අභියෝගයන් ජය ගැනීම සඳහා පානීය ජල බෝතලයක් භාවිතා කිරීමේ ප‍්‍රායෝගික තත්ත්වය හා පානීය ජල බෝතලයක් තෝරා ගැනීම වැනි දෑ පිළිබඳව ඔබ නිසි පරිදි දැනුවත් විය යුතුය.

පානීය ජල බෝතලයක් තෝරා ගැනීම

නිසි පරිදි නිසි වේලාවට පිරිසිදු ජලය ලබා ගැනීම නිවසේදි අපට පහසුවෙන් සිදු කල හැකිමුත් ඉන් පිටත එය ඉටු කර ගැනීම පෙර සඳහන් කල පරිදි අභියෝගයක් බවට පත් වේ. එම අභියෝගය ජය ගැනිමට අප යෝජනා කලේ පානීය ජල බෝතලයක් ලඟ තබා ගැනීමයි. එනම් අප නිවසින් පිටත යෑමේදි අපගේ සිරුරට අවශ්‍ය පිරිසුදු ජලය රැුගෙන යාම සඳහා පානීය ජල බෝතලයක් අනිවාර්ය වේ. එලෙස භාවිතයට ගන්නා ජල බෝතලයේ ප‍්‍රමිතිය පිළිබඳ අප රටේ නිසි අවධානයක් යොමු නොකරයි. සිසිල් බීම හෝ බෝතල් කල පානීය ජලය මිලදී ගැනිමේදි නොමිලේ ලබා දෙන ප්ලාස්ටික් වතුර බෝතල් නැවත නැවත වතුර රැුගෙනයාම සඳහා අප රටේ වැඩි වශයෙන් භාවිතා කරනු දක්නට ලැබේ. එසේ නොමිලේ ලබා දෙන ප්ලාස්ටික් බෝතල් නැවත නැවත භාවිතයට සුදුසු බෝතල් නොවේ. ඒවා නිෂ්පාදනය කරනුයේ එක් වරක් භාවිතයට ගැනිමට සුදුසුු වන ආකාරයටයි. එබැවින් පිරිසුදු ජලය ලබා ගැනිමට සැලකිලිමත්වනවා සේම එය ගබඩා කිරීමට ගන්නා ජල බෝතලය පිළිබඳවත් නිසි සැලකිල්ලක් දැක්වීම අනිවාර්යය වේ. පෙර සඳහන් කල පරිදි නොමිලේ ලබා දෙන ප්ලාස්ටික් බෝතල් භාවිතයෙන් වහාම ඉවත් කල යුතුයි. නැවත නැවත භාවිතයට නුසුදුසු එවැනි ප්ලාස්ටික් බෝතල් භාවිතයෙන් ඉවත් කිරීම අපගේ නිරෝගී පැවැත්මට අත්‍යවශ්‍ය වුවකි. එවැනි ප්ලාස්ටික් බෝතල් භාවිතය සීමා කිරීම පරිසරයේ පැවැත්මට ද වඩාත් අත්‍යවශ්‍ය වී ඇත.
භාවිතයට සුදුසු බෝතල් මොනවාද? අප ඒවා හඳුනා ගන්නේ කෙසේද? මෙවැනි ගැටලු ඔබට පැන නැඟි ඇත. වීදුරු බෝතල්, මල නොබැඳෙන වානේ වලින් නිෂ්පාදිත බෝතල් භාවිතයට වඩාත් සුදුසු බෝතල් වේ. නමුත් එදිනෙදා ජිවිතයේදි අපට ප්ලාස්ටික් බෝතල් ද පරිහරණය කිරීමට සිදු වේ. එහිදි එම බෝතල් පිළිබඳ යම් කිසි දැනුවත්භාවයක් තිබිම අප කාහටත් ප‍්‍රයෝජනවත් වේ. භාවිතයේ තිබෙන ප්ලාස්ටික් වතුර බෝතල් වල සංකේත හා අක්ෂර වලින් එම බෝතල් වල ප‍්‍රමිතිය දක්වා තිබේ. අවශ්‍ය වු අවස්ථාවකදි භාවිතයට සුදුසු බෝතලයක් තෝරා ගැනිමට පහත සටහන ඔබට පහසුවක් වනු ඇත. 


PET හෝ PETE

·        එක් වරක් පමණක් භාවිතයට නිපදවා ඇත.

·        නැවත නැවත භාවිතයට නුසුදුසුය.

·        අව්රශ්මියට හා තාපයට නිරාවරණය වු විට එක් වරක්වත් භාවිතයට නුසුදුසුය.

·        උණු ජලය පිරවීමට ද නුසුදුසුය.

·        සෝදා පිරිසිදු කිරිමට නොහැකිය.

·        මෙම වර්ගයේ ප්ලාස්ටික් බෝතල් භාවිතය මඟින් ශරිරයට අහිතකර ලෝහ ද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍ය ජලය සමඟ එකතු වේ.


HDP හෝa HDPE

·        භාවිතයට සුදුසු වේ.

·        මෙම වර්ගයේ ප්ලාස්ටික් බෝතල් භාවිතය මඟින් ශරිරයට අහිතකර ලෝහ, රසායනික ආදි ද්‍රව්‍ය ජලය සමඟ එකතු වීම අවම වේ.


PVC හෝ 3V

·        නැවත නැවත භාවිතයට කිසිසේත්ම සුදුසු නැත.

·        මෙම සලකුණ ඇති ප්ලාස්ටික් තුලින් ශරීරයේ හෝමෝන ක‍්‍රියාකාරිත්වයට හානිකර විෂ රසායනික ද්‍රව්‍ය පිට කරයි.

·        මෙම බෝතල් පිළිස්සීමේදී නිකුත් වන වායු ආඝ‍්‍රානය වුවද සෞඛ්‍යයට තර්ජනයක් විය හැක.


LDPE

·        ප්ලාස්ටික් බෑග් නිපදවීමට යොදා ගනී.


PP

·        අඩු අවදානම් සහිත ප්ලාස්ටික් වර්ගයකි.

·        නැවත නැවත භාවිතයට සුදුසුයි. නමුත් වසර ගණනාවක් එකම බෝතලය භාවිතා කිරීම අනුමත කළ නොහැකිය.

·        වරින් වර සබන් භාවිතා කරමින් සෝදා පිරිසුදු කල හැකිය.

·        තද උණු වතුර පිරවීමෙන් වැළකිය යුතුය.

·        සේදිමේදි තදින් ඇතිල්ලීම හා සේදුම් කාරක භාවිතය සිදු නොකලයුතුය.

·        බෝතලය ඇතුලතට හානි වී හෝ පළුª වී ඇත්නම් භාවිතයෙන් ඉවත් කළ යුතුය.


PS

·        මෙම ප්ලාස්ටික් වර්ගය ද මිනිස් සිරුරට එතරම් හිතකර නොවේ.

·        මෙම ප්ලාස්ටික් වල ආහාර ගබඩා කිරීමේදි මිනිස් සිරුරට අහිතකර තත්ත්වයන් ඇති විමේ අවධානමක් ඇත.


OTHER

·        නැවත භාවිතයට සුදුසු වේ.

·        තද අව් රශ්මියට හා තාපයට නිරාවරණය වීම සුදුසු නැත.

·        පෙනුම දුර්වරණය වී හැඩය වෙනස් වී ඇත්නම් භාවිතයෙන් ඉවත් කල යුතුය.



මෙවැනි අයහපත් තත්ත්වයන් ඇති කරන ප්ලාස්ටික් බෝතල් භාවිතයට වඩා අපගේ ශරීරයට හිතකරක වන්නේ හැකි සෑම විටම වීදුරු හෝ මැටි බඳුන් භාවිතා කිරීමයි.

ජල බෝතලයක් භාවිතා කිරීමේ ප‍්‍රායෝගික තත්ත්වය

පානීය ජල බෝතලයක් අවශ්‍ය වනුයේ වැඩි වශයෙන් නිවසින් පිටත සිටින විටයි. 
අප නිවසින් පිටත වැඩි වශයෙන් රැඳෙනුයේ සේවා ස්ථානය තුලයි. එහිදි අපට අවශ්‍ය ජල පහසුකම් සලසා ගැනීමට වීදුරු බෝතලයක් ප‍්‍රයෝජනයට ගත හැකිය. වීදුරු බෝතලයක් භාවිතා කිරීමෙන් අව් රශ්මියට නිරාවරණය වීමෙන් ඇති විය හැකි රසායනික විපර්යාස වලට ලක් නොවීම ද, ජලයට රසායනික ද්‍රව්‍ය එකතු නොවීම ද, පිරිසිදු කිරීමේ පහසුවද යන ප‍්‍රතිලාභයන් අත් විඳිය හැකිය. 
නිවසේ නොසිට වැඩි වේලාවක් පාසලේ රැඳෙන දරුවන් හට ද නිසි පරිදි, නිසි වේලාවට පිරිසිදු ජලය ලබා ගැනිමේ පහසුකම සලසා දිය යුතුය. ප‍්‍රායෝගික හේතු මත විදුරු බෝතලයක් දරුවන්ට අනුමත කල නොහැක. එම නිසා නියමිත ප‍්‍රමිතියෙන් යුතු ප්ලාස්ටික් වතුර බෝතලයක් හෝ මල නොබැඳන වානේ වලින් නිමවු බෝතලයක් දරුවන්ට ලබා දීම සුදුසුය. 
මෙවැනි ක‍්‍රියාමාර්ග අනුගමනය කල යුතු වන්නේ නිසි ප‍්‍රමිතියකින් තොර පානීය ජල බෝතල් පරිහරණය තුලින් අපගේ සිරුරට අප සිතනවාටත් වඩා හානියක් සිදු කරගන්නා බැවිනි.   

නිසි ප‍්‍රමිතියෙන් යුත් පානීය ජල බෝතලයක් ලබා ගන්නේ කෙසේද?

ජලය ගබඩා කිරීමේදි මිනිස් සිරුරට වඩා හිතකර වීදුරු හෝ දේශීය කර්මාන්තයක් වන මැටි බඳුන් ශ‍්‍රී ලංකාවේ වෙළඳ පොළ තුල ඉතා පහසුවෙන් සොයා ගත හැකිය. භාවිතයේ ප‍්‍රායෝගික ගැටලු හේතුවෙන් විඳුරු හෝ මැටි බඳුන් වෙනුවට ප‍්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් හෝ මල නොබැඳෙන වානේ බෝතල්ද ශ‍්‍රී ලංකා වෙළඳ පොලේ පහසුවෙන් මිලදි ගත හැකිය. එසේත් නොමැති නම් අන්තර්ජාලය තුලින් එවැනි ප‍්‍රමිතියෙන් යුතු ජල බෝතල් පහසුවෙන් මිලදී ගැනිමට තරම් අද ලෝකය දියුණු වී ඇත.