ජිවිතය ජිවත් කරවන ජලය

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය
ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය 
රිජ්වේ ආර්යා ළමා රෝහල කොළඹ







අප දිනපතා තිබහට, මහන්සියට හිතෙන හිතෙන වේලාවට පානය කරන ජලය අපිට කෙතරම් වැදගත්ද යන්න පිළිබද කෙදිනක හෝ ඔබ සිතා තිබේද? අපට ජලය අවශ්‍ය කුමකටද? ඇයි මේ තරම්ම ජලය වැදගත්? මේ කරුණු පිළිබද ඔබ කෙදිනක හෝ අවධානය යොමු කොට තිබේද? අපගේ මිනිස් සිරුරේ බහුලව පවතින්නේ ජලයයි. මෙම වදනින්ම ජිවිතයට ජලය කොතරම් වැදගත්ද යන්න පිළිබද ඔබට අවබෝධ කරගත හැකිය. වැඩිහිටියකුගේ ශරීරයේ බරින් 55% - 75% ත් අතර ප්‍රමාණයක් පවතින්නේ ජලයයි. මෙම ධාරිතාව පුද්ගලයාගෙන් පුද්ගලයට ඔවුන්ගේ ශරීර ස්කන්ඡය, වයස හා එකිනෙකාගේ දවසේ ක්‍රියාකාරකම් හා විවිධ හේතුන් මත වෙනස් විය හැකිය. මිනිසා අතීතයේ සිටම ජලය ආශ්‍රීතව තම ජනාවාස බිහිකර ගත්තේ ජලයේ ඇති වටිනාකම, අවශ්‍යතාවය හදුනාගත් හෙයිනි.එමෙන්ම අතීතයේ මෙන්ම වර්තමානයේ ජලය හේතුවෙන් යුධ වදින අවස්ථාද නැතුවාම නොවේ.

මිනිසෙකුට ජලය නොමැතිව දින 3-5 ට වඩා ජිවත්විය නොහැකි බව ඔබ දන්නවාද?

මිනිස් ශරීරයේ බහුලව ඇත්තේ ජලයයි. වැඩිහිටි පිරිමියෙකුගේ ශරීර ස්කන්ධයෙන් 60% ක්ද, කාන්තාවකගේ ශරීර ස්කන්ධයෙන් 55%ක්ද (පැහැණු සිරැරේ මේදය බහුලව අඩංගු වීම නිසා ජලය ප්‍රමාණය පිරිමි සිරුරට වඩා අඩුවේ) උපතේදි බිළිදෙකුගේ ශරීර ස්කන්ධයෙන් 80% ක් පමණ ජලය අඩංගු වේ. ජීවත් වන සියලුම ජීවින්ගේ සියලුම සෛලයන්, සියලුම අවයව, සියලුම ඉන්ද්‍රීය කොටස් ජලය මත රදා පවති. මේ අනුව ජලය යනු වඩාත්ම වැදගත් වු මිනිස් සිරුරට අත්‍යාවශ්‍යම පෝෂකයයි. මිනිසෙකුට ආහාර නොමැතිව සති 03 ක පමණ කාලයක් ජිවත් විය හැකි වුවත් ජලය නොමැතිව ඩඩිවත් විය හැක්කේ දින 03 ත් 05 ත් අකර කාලයක් පමණක් බවට තහවුරු වී ඇත.

සිරුරේ ප්‍රවාහකයා ජලයයි

ජලය මගින් ශරීර උෂ්ණත්වය 36.5 – 37 C0ලෙස තබා ගන්නා ශරීරයේ පරිවෘත්තීය කටයුතු සදහා සුදුසු පරිසරය සකසා දෙමින් ශරීරයේ උෂ්ණත්වය නිසි ලෙස පවත්වා ගැනිමට බෙහෙවින් උපකාරි වේ. ජලය ශරීරයට අවශ්‍ය කරන ඔක්සිජන් හා පෝෂකයන් සෛලයන් වෙත ගෙන යමින් ශරීරයේ ඇති අපද්‍රව්‍ය මෙන්ම වස විස ශරීරයෙන් බැහැර කරයි. එමෙන්ම මුඛය, ඇස්, නාසය මෙන්ම සමෙහි පටලවල තෙතමනය පවත්වා ගැනිමට ජලය උපකාරි වේ. රුධිරයේ ප්‍රධාන සංඝටකයක් ලෙස පෝෂණ ද්‍රව්‍ය හා ඔක්සිජන් ශරීරය පුරා බෙදා හැරීමටත්, ශරීරයේ අනතුරැ වලින් ආරක්ෂා වීමටත්, මොළයේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වා ගැනීමට හා මලබද්ධය වලක්වා ගැනීමටද ජලය බෙහෙවින් උපකාරි වේ.

දිනකට ජලය කෙතරම් ජානය කල යුතුද?

ඔබ දිනකට පානය කරන ජලය ශ්වසනයේදි, බහිස්‍රාවිය කර්තව්‍යන් වලදි මෙන්ම ජීර්ණ ක්‍රියාවලියන්හිදි බහුලව වැයවේ. මේ හේතුවෙන් දිනපතා ජලය බහුලව පානය කල යුතුවේ. නමුත් ජලය වැඩිපුර පානය කල යුතු බව පාසල් යන අවධියේ සිට සියලු දෙනා දැනුවත් වුවත් දිනකට කෙතරම් පානය කල යුතුද? දැනට ප්‍රමාණවත් තරම් පානය කරනවාද? එම පානය කරන ප්‍රමාණය තම ශරීරයේ ස්කන්ධයට, වයසට අනුව ප්‍රමාණවත් වේද? යන කරුණු පිළිබද දැනුවත් විය යුතුය. ඔබේ වයස අනුව ජලය පානය කල යුතු ප්‍රමාණයන් ළමා අවධිය, ප්‍රාථමික අවධිය, නව යොවුන් අවධිය හා වැඩිහිටි අවධිය ලෙස අවධීන් කිහිපයකට දැක්විය හැකිය. එම අවධීන් අනුව ජලය පානය කල යුතු ප්‍රමාණයන් ආසන්න වශයෙන් වෙනස් වේ.
ළමා අවධිය හෙවත් වයස අවුරුද්දේ සිට අවුරුදු 05 දක්වා වු වයස් මට්ටමේ දරුවකු ආසන්න වශයෙන් දිනකට මිලි ලීටර් 750 ත් 1000ත් අතර ප්‍රමාණයක් පානය කල යුතු අතර ප්‍රාථමික අවධිය හෙවත් අවුරුදු 6ත් 10ත් අතර  වයස් සීමාවේ දරුවකු දිනකට ලීටර් 1 ත් 1.5ත් අතර ප්‍රමාණයක් පානය කල යුතුය. නව යොවුන් අවධිය හෙවත් වයස අවුරුදු 11ත් 18ත් අතර වයස් කාණ්ඩයේ දරුවකු ආසන්න වශයෙන් දිනකට ලීටර් 1.5ත් 2ත් අතර ප්‍රමාණයක් පානය කල යුතු අතර වැඩිහිටි අවධියේ පුද්ගලයෙකු දිනකට ලීටර් 2ත් 2.5ත් අතර ප්‍රමාණයක් පානය කල යුතුය.

 වයස් කාණ්ඩය
ළමා අවධිය
 (අවු. 01 – 05)
 ප්‍රාථමික අවධිය
(අවු. 01 – 05)
 නව යොවුන් අවධිය
(අවු. 06 – 10)
 වැඩිහිටි අවධිය
(අවු. 11 – 18)
ජල පරීමාව මිලි ලීටර් 750 - 1000 ලීටර් 1 – 1.5 ලීටර් 1.5 – 2 ලීටර් 2 – 2.5

මීට අමතරව වැඩිහිටියන් සදහා තම ශරීරයේ බරට අනුව පානය කල යුතු ජලය ප්‍රමාණය ශරීරයේ බර 30න් බෙදා පහසුවෙන් ගණනය කර ගත හැකිය.